Chandi Roshika

November 9, 2009

බෙල්ලන්විල රජමහා විහාරය

Filed under: Uncategorized — chandiroshika @ 10:33 am

කොළඹ දිසාවේ දෙහිවල මහරගම මහා මාර්ගයේ දෙහිවල සිට සැතැපුම් තුනක් එන විට බෙල්ලන්විල රජමහා විහාරය හමුවේ. අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ නමක් බෙල්ලන්විල රජ මහා විහාරයේ රෝපිත කර තිබීම ආගමික වශයෙන් සුවිශේෂී කරුණකි.

බෙල්ලන්විල රජ මහා විහාරය මෙරට ඓතිහාසික සිද්ධස්ථාන අතර ප්‍රමුඛස්ථානය ගන්නා පුණ්‍ය භූමියකි. කලබලකාරී කොළොම්පුරවරයට ආසන්නයේ පිහිටා ඇති සිද්ධස්ථානයක් වූවද බෙල්ලන්විල රජ මහා විහාරයට පිවිසෙන කවර තරාතිරමක අයකුගේ වූවත් සිත් සතන් සැනහේ. සොබා අසිරියෙන් පිරිපුන් නිස්කලංක පරිසරයක ඇති අසිරිය සැබෑ පින් බිමක ලක්‍ෂණ ජනිත කරවයි. අත්තිඩිය අභය භූමිය හරහා හමා එන මන්ද මාරුතයේ පහසින් සෙමෙන් සැලෙන බෝපත් නඟනා සිහින් ස්වරය, ඒ මහා බෝධි වෘක්‍ෂය සෙවණේ දී දැනෙන අපරිමිත සුවය කනස්සල්ලෙන් ව්‍යාධියෙන් පිරි ගත සිත සුවපත් කරනා සෙයකි.

දරු ඵල පතන්නෝ, උපන් කිරි කැටි බිළිඳුන්ට බෝ සමිඳු පිහිට පතන්නෝ, ලෙඩ දුක පිරිපත දුරැර සුව සෙත සිරි සැප පතන්නෝ සහ නා නා විධ අපේක්‍ෂාවන් ඇති සැදැහැවත්හු බෙල්ලන්විල රජමහා විහාරයේ බෝ සමිඳුට පුද සත්කාර පවත්වති.

හැම විට සිය දහස් ගණනින් බැතිමත්හු වන්දනා මාන කරන අසිරිමත් බෙල්ලන්විල රජ මහා විහාරය අතීත බෞද්ධ රාජ්‍යයක ප්‍රෞඪ ඉතිහාසය සිහි ගන්වයි. පුරාතන ගෘහ නිර්මාණයන් අනුව තැනුණු සම්බුදු මැදුර දුටුවන් සිත බැතියෙන් පුබුදුවාලයි. පැරැණි මකර තොරණ, නාග රූප, වාමන රූප, කොරවක්ගල්, ලියකම්, විවිධ කැටයම් ආදිය බෙල්ලන්විල රජ මහා විහාරයට පිවිසි පුද්ගලයා සිතින් අනුරාධපුර, පොළොන්නරු ඓතිහාසික පුදබිම් වෙත කැඳවාගෙන යාමට සමත් වේ.

දෙමහල් සංඝාවාසය, ධාතු මන්දිරය, දෙමහල් ධර්ම ශාලාව, ආදී නවීන ශාලා සියල්ල එකකට එකක් ගැලපෙන උචිත සැලසුම් අනුව ගොඩ නංවා ඇත. අතීතයේ ජරාවාසව පැවැති පැරැණි සිද්ධස්ථානයක් නවීන යුගයට ගැලපෙන සේ නිර්මාණය කළෝ බෙල්ලන්විල රජ මහා විහාරාධිපතිව වැඩ විසූ ශ්‍රී සිද්ධාර්ථ විහාරවංශාලංකාර ධර්ම කීර්ති ශ්‍රී රත්මලාන පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේ ය. ඒ 1946 වසරේදී ය.

විහාර සිතුවම් සම්ප්‍රදායන් අතරට තවත් විශිෂ්ට සිතුවම් සම්ප්‍රදායක් බෙල්ලන්විල රජ මහා විහාරයේ සම්බුදු මැදුරේ සිතුවම් වී ඇත. මෙසේ බෙල්ලන්විල බුදු මැදුරේ ඇති අතිවිශිෂ්ට බිතු සිතුවම් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන්ගේ මෙහෙයවීමෙන් ජාත්‍යන්තර කීර්තියට පත් සෝමබන්ධු විද්‍යාපති කලාවේදියා විසින් අඳින ලද සිතුවම් ය.

බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමි මෙහෙවර නිසා බෙල්ලන්විල ලෝක පූජිත විය. බෙල්ලන්විල රජ මහා විහාරය හා බෙල්ලන්විල පෙරහර ඒ නාමය හා බැඳී ඇත. ඒ සියල්ල අද ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට සමත් වූ තවත් බෙල්ලන්විල හා සබැඳි නාම දෙකක් වේ. ඒ සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක බෙල්ලන්විල රජ මහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ බෙල්ලන්විල රජ මහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

බෙල්ලන්විල රජ මහා විහාරය ආගමික මෙහෙවර සඳහා පමණක් සීමා නොකොට ප්‍රජා අවශ්‍යතා රැසකට කේන්ද්‍රස්ථානයක් වී ඇත්තේ විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ සංකල්පයක් මත පවත්වා ගෙන යනු ලබන විවිධ ප්‍රජා සේවා නිසා ය. බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනම ඊට එක් නිදසුනකි. බෙල්ලන්විල රජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ හා සිදු කැරෙන ආගමික, සාමාජීය, ශාස්ත්‍රීය මෙහෙවර සුවිශේෂී වටිනාකමක් ප්‍රකට කරයි.

Advertisement

Leave a Comment »

No comments yet.

RSS feed for comments on this post. TrackBack URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Theme: Rubric. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.